Wednesday, September 12, 2018

                   සත්‍ය විය යුත්තේ...... 

 

අප රටේ ජීවත්වන සියල්ලෙක්ම පාහේ කුමන හෝ ආගමක් අදහනු ලබයි.ආගමක් අදහනවාට වඩා එය තමාම අවබෝධ කරගෙන එය සත්‍ය නම්, වැලඳ ගැනීම කල යුතුයැයි කීවේ තිලෝගුරු බුදුරජාණන්වහන්සේ  වහන්සේමය.එමෙන්ම උපතින්ම දෙමවුපියන්ගේ ආගම උරුම  වීම සාමාන්‍ය කරුණකි.එහෙත් තර්ක කිරීමේ අවස්ථාවක් වක් තිබිණි.ගිහි ගෙයට නියම වූ ශික්‍ෂාපද පහක් නියම විය.එය පිලිනොපදින්නේනම් ඉන් වන ආදීනව මනාව පැහැදිලි කරදී ඇත.ගිහිගෙය ඔබ්බවා අටසිල්,දසසිල් රකින්නේනම් ඒවාටද කැප අකැප උදාහරණ සහිතව පෙන්වා දී ඇත.පරලොවක් ඇතත් නැතත් මේවායේ සත්‍යතා තහවුරු වන අවස්තා බොහෝය.


 “නැතත් එපරලොව ඉන් වන අවැඩ නැත
   ඇතොත් නැතැයි පවු කල හට වෙයි විපත“
මෙය ප්‍රායෝගික සත්‍යකි.
    එහෙත් වෙනත් ආගම් හා ඇදහිලි වල මේවාට විවිධ සමාවල් ලබා දී ඇත.“දෙවියන් වහන්සේ සියල්ල තීරණය කරයි“මෙය මොනතරම් සත්‍ය වාදී වන්නේද? එය එසේනම් අපට කරන්නට දෙයක් ඉතිරි නොවේ.අපේ ආහාරවේල දෙවියන් වහන්සේ තීරණය කරයිද යන්න දීර්ඝව ලිවිය යුතු නොවේ.එය හුදෙක් අපේ උත්සාහය මතම සිදුවේ.ඉස්ලාම් ආගම අදහන්නා සතුන් මරා මස් කර විකුණා අල්ලා දෙවියන්ගෙන් සමාව ඉල්ලා සිටී.එසේ සමාවක් අල්ලා දෙවියන්ට ලබා දීමට හැකිනම් පලමුව මස් කර විකිණිය යුත්තේ අල්ලා ය.තවත් බොහෝ ඇදහිලි ආගම් ඇත. බුද්ධාගමෙහිද “උපන්දා සිට කරපු පවු මැත වරක් වැන්දොත් කැළනියේ“යනුවෙන් දක්වයි.නමුත් කිසිකලෙකත් බුදුදහමෙහි එවන්නක් නොදැක්වේ.ඒවා මගදී  එකතු කරගත් බුදුදහමට ගැරහෙන තැන්ය.එසේ වූවානම් කැළනි විහාරයට කිට්ටු වීමට නොහැකිවන සේ වයෝවෘද ජනතාව සැමදිනකම කැළණි විහාර භූමියට රැස් වනු ඇත.




    කෙසේ වෙතත් බොහොමයක් ආගම් වල අදැහෙන්නේ හොඳ දේය. ශාස්තෘ වහන්සේලා බොහෝ සත්‍ය දේ දේශනා කොට ඇත.ඒවා පොදුවේ සැලකිල්ලට ගෙන තර්කාණුකූල වූ පොදු ආගමක් ඇදහීම සියල්ලගේම හිත සුව පිණිස වන්නේයයි මාගේ අදහස වන්නේය.  













Thursday, September 6, 2018

                                                         අනතුරක... 

                 වර්තමානයේ යොවුන්විය විශාල අනතුරකට මුහුණ දෙමින් සිටී.සෑම පසින්ම යොවුන්විය විනාශකිරීමට කුරුමානම් එල්ලවෙයි.යොවුන්විය යන්න ස්ත්‍රී පුරුෂ වශයෙන් දෙයාකාරයකි.මේ අතරින් වඩාත් අනතුරට මුහුනදෙන්නේ ස්ත්‍රී පාර්ශවයයි.ශක්තියෙන් ඇය පුරුෂයන්ට සාපේක්ෂව දුර්වලය.බොහෝදුරට මොනයම් ආකාරයේ ද්වීලිංගික සටනකදී වුවත් පුරුෂ පාර්ශවය තම අභිමතාර්ථයන් ජය ගන්නා ස්වරූපය වැඩිය.එයට පැහැරගැනීම්, දූෂණයට ලක්වීම්,ලිංගික බලපෑම් ආදී මෙකී නොකී ඕනෑම හිංසමයක් ඇතුලත් විය හැකිය.














           ජනමාධ්‍ය ඔස්සේ කිසියම් ප්‍රවෘත්ති විකාශනයක් වුවද මෙවන් තොරතුරක් හෝ කිහිපයක් විරල නොවේ.තත්වය උගත්,නූගත්,ගැමි,නාගරික කියා වෙනසක් නැත.මත්ද්‍රව්‍ය රට ගිලගෙන හමාරය.එම වෙළඳාම තරම් ඉක්මනින් කෝටිපතියන් වන වෙනත් මාර්ගයන් නොමැති තරම්ය.මෙය රැකියාව කරගත්තන් හට මේවායේ බෙදාහැරීම ද වැදගත් වෙයි.ඔවුන්ට අනුව මේවාට ඇබ්බැහි වූ පරපුරක් නිරන්තරයෙන් පැවතිය යුතුවෙයි.ඒ සඳහා පාසල් මුන්ගේ සිට යොවුන්විය දක්වා ඉතා කපටි යොමුකිරීමක් සිදු වේ.මේවා සිදුකරන්නන්ගේ ආරක්ෂාව දේශපාලඥයාගේ සිට පොලිස් කොස්තාපල්වරයා දක්වා දිවේ.ඔවුන්ද ඒවායෙන් ප්‍රතිලාභ ලබයි.මා දන්නා කාලයේ සිට දේශපාලඥයන්ගේ උදෘත පාඨය වූයේ “මතින් තොර ලොවක්“ගැනයි.නමුත් එය හුදෙක් වචනයන් පමණක්ය.
          මෙම ව්‍යසනයට මුල්ගල තැබෙන්නේ පාසල් දරුවන් අතින්ය.කලින් සඳහන් කල මත්ද්‍රව්‍ය ඊට නොමඳ සහයෝගයක් ලබා දෙයි.විකෘති මනස ඕනෑම දෙයකට පහසුවෙන් නම්මවා ගත හැකිය. ප්‍රවිශ්ඨය එසේ වුවත් අවසානය පාතාලයයි.මේ සඳහා බලපාන වෙනත් සාධක ද නැතුවාද නොවේ. දිළිඳුකම,නවාතැන,ආහාරපාන අභියස විශ්වවිද්‍යාල සිසුවෙකු වුවද මෙම තත්වයට පත්ව ඇති ඉඩකඩ වැඩිය.මේ කරුණු නැතත් ජන්මයෙන් උරුම වූ නැහැදිච්චකම,අකීකරුකම,නාහෙට නාහන ගුණයද බලපාන්නට හැකිය. 
          මේ සියල්ල වළකා, බුද්ධියේ පහන්වැට දල්වා ,අවිනිශ්චිත යුගයක ජීවත්වන අප යොවුන්විය පාලනය කරමින් ඇල්මෙන් අකුරුකර ඉදිරියට යාමට හැක.ඒ සඳහා දැඩි ශික්ෂණයත් කැපවීමත් අවශ්‍ය වෙයි.අප මුතුන් මිත්තන්ගෙන් අසා ඇති කියමනක් ඇත.“උත්සාහවන්තයා ජය ගනී“ යන්න එයයි.රටම ගිලගත් මෙම අඳුරට සාප කරනවා වෙනුවට එක් ඉටිපන්දමක් දල්වා ආදර්ශයක් ලබා දෙමු.... 
  

Wednesday, September 5, 2018

                                                          යථාර්තය මෙයයි....



            පවතින රජයේ ගුණදොස් පෙන්වාදීම හා විවේචනය කිරීම හා ඒවා ඔප්පු කර පෙන්වීම මාධ්‍යයක වගකීමයි.පවතිනා රජයට හා විපක්ෂයේ ක්‍රියාකලාපයන්ද මහ ජනතාව අතරට ගෙනයාමත් ඔවුන්ගේ යුතුකමයි.එහෙත් මෙම කටයුත්ත නියමාකාරයෙන් ඉටුවෙනවාද යන්න වෙනම ප්‍රශ්නයකි.විවිධ මාධ්‍ය විවිධ පක්ෂ හා පුද්ගලයන්ට ආවඩන අයුරු  මාධ්‍යයන්ට යොමුවන ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගතහැක.මාධ්‍යකරුවන් පැහැරගෙන ගොස් සොයා ගැනීමට නොහැකි ලෙස ඔවුන් අතුරුදහන් කිරීම පසුගිය සමයේ සුලභ කරුණක් විය.ඔවුන් මේවාට ලස්සන නම් යොදාගැනීමක්ද සිදුකරයි.“ සුදු වෑන් සංස්කෘතිය“ ඉන් එකකි. ඈත අතීතයට ගියහොත් රිචඩ් ද සොයිසා හොද උදාහරණයකි.මෑත අතීතයට ගියහොත්,ලසන්ත වික්‍රමතුංග,ප්‍රදීප් එක්නැලිගොඩ පෙන්වා දිය හැකිය.මේවා අදටත් ආන්දෝලනාත්මකව පවතින කතාවන්ය.මේවා සම්බන්ධව සැකයට ගැනෙන අය රජයේ අනුග්‍රහය ඇතිව නිදැල්ලේම හැසිරෙති .නැතිනම් නීතියේ රැහැනෙන් පැන රටෙන් පැනයාම හෝ සැඟව සිටීම සිදුවේ.වරදකරුවන් හසුවූවත් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම හෝ වෙනයම් දෙයක් කිරීම කළ නොහැක. රෝගී තත්වයක් හේතුවෙන් පුද්ගලික රෝහලකට ඇතුල් කිරීම හෝ සාමාන්‍ය වැරදිකරුවෙක් හෝ සැකකරුවකුගේ කටුක අත්දැකීම ඔවුන්ට නොලැබේ..
      සාධාරණය මෙයදැයි සිතා වදවීමෙහි ද, ක්‍රියාත්මක වීමෙහි ද වරදක් වන්නෙහිද?
තීරණය ඔබ සතු වන්නකි.දැනුවත්කරවීම මාගේ යුතුකමකි...




                                                                  කේන්දරය

කේන්දරය බොහෝ විට දකුණු ආසියාතික රටවලට සීමා වූවකි.එයිනුත් බොහෝ දේ අපට සංක්‍රමණය කර වූ ඉන්දියාව ප්‍රමුඛස්ථානය ගනී.



          සියළු ග්‍රහලෝක විවිධාකාර ලෙස සූර්යයා වටා කැරකෙමින් පථයක් නිර්මාණය කරගනී.පෘතුවිය ද තමා වටා කැරකෙමින් දිනයක් සම්පූර්ණකොට සූර්යයා වටා ද දින තුන්සිය හැට පහකදී කැරකෙමින් වටයක් සම්පූර්ණකර අවුරුද්දක් උදා කරනු ලබයි.අපට වැදගත් නොවූව ද අනෙක් ග්‍රහලෝක ද මේ ආකාරයෙන් භ්‍රමණය වෙයි.කෙනෙකු උපදින විට මෙම ග්‍රහයන් විශ්වයේ කිසියම් තැනක පිහිටා තිබෙන්නට ඇත.අපට උපදිනා දරුවන් පමණක් නොව තවත් බොහෝ දරුවන්ද මෙම වේලාවේදීම මෙලොව එළිය දකිනු ඇත.එම සංඛ්‍යාව ඉතා ඉහල අගයක් ගනී.උපදින වේලාව සහ,එදින ග්‍රහයන් අතර සම්බන්දයක් වෙතොත් එසේ උපදින සියළු දරුවන්ගේ සියළුම තත්වයන් සාධාරණ විය යුතුය.නමුත් එකම වෙලාවේ උපදින එකෙකු මහා වියතෙක් වන අතර තවකෙක් මංපහරන්නෙකු වන අවස්ථා කොපමණ ඇත්ද?එසේ වන්නේ ඇයිද යන්නට දෛවඥයන් තුළ පිළිතුරු ඇත.එහිදී අඟහරු උච්ච කරමින් සෙනසුරු නීච කරමින් සිකුරාගේ බලය හීනකරමින් අදාළ කේන්දරය අනුව කරුණු පෙලගස්වා ගනී. 
    කේන්දර බැලීම ද දෛවඥයන්ට පහසු කරවන කාරණා ඇත.බොහෝදුරට කේන්දර බලන්නේ කිනම් නපුරක් හෝ අකරතැබ්බයක් වූ විටය.දෛවඥයාට තීරණය කිරීමට ඇත්තේ 50%ක පැත්තක් පමණි.පැමිනි තැනැත්තාගේ ස්වභාවය බලා ඉතිරි කොටසින් හැගීමක් ගැනීමට හොඳ පලපුරුද්දක් ඔවුන්ට ඇත.තවත් කොටසක් පැමිණි තැනැත්තාගේ කතාබහෙන් වුකහා ගත හැකිය.මේ සියල්ල වැරදුන ද කියන්නට උත්තර තිබේ.“උපන් වේලාව වැරදියට සඳහන් වී ඇත“ මේවාට පිළියම් කරන්නටද වත්පිළිවෙත් ඔවුන් සතුය.ඉන් අනතුරුව එවන් අපල නීච වනු ඇත.මෙම පිළිවෙත් ඉටු කරන්නේද ඔවුන්මය.ඒවා බොහෝ සෙයින් මිල අධිකය.එහෙත් විවාහයකදී මෙය ඉතා හානිකර ලෙස බලපවත්වයි.සෙනසුරා හතේ අඟහරු හතේ යනාදී කරුණු ලබාදී ඔවුන් කේන්දර කොටුව තුළ හිරකර ගනී.මෙම කොටුවීම තුළද ගෙවල්වල නිකරුනේ වියපත් වන අය බොහෝය.කුමන තත්වයක් යටතේ හෝ කේන්දර සීමාඉර පැන්නවුන්ට අකමැති දෙමවුපියන් ඊට ඉඩ ලබා නොදේ.කෙසේ හෝ මෙම තීරන ගනන් නොගෙන දැඩි තීරණ ගන්නා පිරිසක්ද ඇත.ඔවුන් සමහරෙක් සාර්ථක වනු ඇත.සමහරෙක් අසාර්ථක වනු ඇත.කේන්දර සර්වප්‍රකාරයෙන් ගැලපුනු දෙදෙනෙකුගේ ද යථාර්තය එයයි.
මේ දෙගොල්ලන්ම තමන්ගේ පැවැත්ම මත ජීවත් වෙයි.නිසි ආකාරයෙන් සැලසුම් කර ජීවත්වන්නෝ බොහෝවිට සාර්ථක වනු ඇත.නිසි ආකාරව ජීවත් වූවද නොවූවද සාර්ථක වන පිරිස්ද ඇත.
එදා මහළු ගැලීලියෝ පෘතුවිය තමා වටා කැරකෙමින් සූර්යයා වටා ද කැරකෙන බව කී වරදට එවකට පැවති ධර්මාධිකරණය ඔහුගේ හිස ගසා මරා දැමීමට තීරනය කලවිට ඔහු කියා සිටියේ මගේ හිස ගසා දැමූවත්,පසුදිනත් පෘතුවිය සූර්යයා වටා කැරකෙනු ඇති බවයි.ඒ හඬින් මට ද කියන්නට ඇත්තේ කිසිම කලෙක කිසිවෙකුගේ ජන්ම පත්‍රය ඔවුන්ගේ ජීවිතය තීරණය නොකරන බවයි.   

Monday, August 27, 2018


                                                  මත්පැනෙහි නියම අරුත...

                             
               මානව වර්ගයාගේ ඇරඹීම කොහිද මත් පැන්වල ඇරඹීමද ඒ තාක් කල් දුර විහිදෙනු ඇත.එදා පටන් අදවනතුරු මෙම අහිතකර ක්‍රියාව වැඩි වූවා මිස අඩුවීමක් සිදුවී නොමැත.මිනිසුන් විවිධ හේතු ඉදිරිපත් කරමින් මත් වතුරට ලඟාවෙයි.මේ තුළින් බිඳ වැටෙන පවුල් සංස්ථා ප්‍රමාණය අපමණය.බිඳ වැටීමක් සිදු නොවූවත් පවුල් ජීවිත අවුල් වියවුල් කිරීමට කෙතරම් දායකවන්නට ඇතිද? විශේෂයෙන්ම කය වෙහෙසා වැඩ කරන මිනිසුන් සිය ඇඟේපතේ අමාරුව සංසිදුවා ගැනීමට මත් වතුරේ පිහිට පතයිද? අතීතයේදී මෙම උත්තරයට සමාවක් දිය හැක.එහෙත් වර්තමානය මොනතරම් භායානකද? අනාගතය ගැන සිතා ගැනීමටවත්  නොහැක.පාසැලේ නිවාසාන්තර තරඟයේදීත්,මහා ක්‍රිකට් තරඟ වලදීත්,තොප්පි වලට මුදල් හිඟාකාගෙන මත්පැනට මුලකුරු කියන සිසුවා මහ මඟට වැටුනද, අතරමඟක වැටුනද,විශ්ව විශ්වවිද්‍යාලයට ගියද මෙම අත්දැකීම නැවත නැවතත් උරගා බලයි.ඉන් මතුව ඔවුන් බාලයින්ද මෙම කටයුත්තට යොදා ගනී.මගුල් ගෙදර,මළ ගෙදර,දානේ ගෙදර,විනෝද චාරිකා සියල්ලකටම මත් වතුරට පසුබිම් සංගීතය සපයයි.ඉන්පසුව උදාවන්නේ අවාසනාවන්ත ඇබ්බැහි වූවන්ගේ යුගයයි.



                            අප රටේ මත් කුඩු හා ඒවාට ඇබ්බැහි වූවන් පිළිබඳ බොහෝ වාරණයන් ඇත.කොටින්ම ස්වල්පයක් හෝ ළගතබා ගැනීම නීතියේ රැහැනට හසුවීමට හේතුවකි.මේවා නිසියාකාරව සිදුනොවීම වෙනම කතාවකි.එහෙත් නීතිය අවශ්‍ය ප්‍රතිපාදන සපයා තිබේ.එහෙත් මත් වතුර සඳහා එවන් මාර්ගයක් නොමැත.සෑම නගරයකම මත් වතුර සැල් රජයේ අනුග්‍රහය සහිතව පවත්වාගෙන යයි.ඊට අමතරව හොරව කෙරෙන ජාවාරම් කොපමණ ඇත්ද? මත් කුඩුවලට පැනවී ඇති නීති මධ්‍යසාරය සඳහා නොවේ.මහාචාර්ය නන්දසේන කෝදාගොඩට අනුව ඇබ්බැහි වීමේ ප්‍රතිශතය මධ්‍යසාරවල කුඩු වලට වඩා වැඩිය. මධ්‍යසාරයේ ආදීනව හොඳින්ම දන්නේ ඒවා පරිහරණය කරන පුද්ගලයනි.අධ්‍යාපනය මොන මට්ටමක තිබුණද,වෘතීය වශයෙන් කොතැන සිටියද,මෙයට වහල් වීම එකසමානය.ඉන් අඟවන තත්වයන් ගැන මෙවන් ලිපියකින් නොව මහා පොතක් ලියා වුවද අවසන් කල නොහැක.අනෙක් අතට මත් වතුරට වහල් වූවන් මෙහි ආදීනව හැමෝටම වඩා දනී.එහෙත් මෙම තත්වය හොඳින් තේරුම් ගෙන මුළුමනින්ම මධ්‍යසාරය ප්‍රතික්ෂේප කරන පිරිසක්ද අප රටේ ජීවත් වන බව අවසාන වශයෙන් ලියා තබන්නේ,එම ගොඩට එකතු වීමට ඇබ්බැහිවූවන්ටද උද්යෝගිමත් විය හැකි බව සානුකම්පාවෙන් මතක් කර දීමටය.





Saturday, July 28, 2018

                                 ....රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගේ ගැටබරු අඩවිය....          
        
   
                ඉස්තෝප්පුවේ බුලත් විට හපමින් සිටි මහළු මිනිසා අසල තිබූ කොලොම්බුව මත ඈදි ගනිමින් අහස දෙස  ඇස් යොමුකොට අදවත් වැහිකෝඩේ තුරන් වී යා දැයි කල්පනාවක සිටී...

සීයා    :- “ඊයේ  දොහෙත් ගැටබරු පෙරහැරට වැස්සෙන් බොහෝ කරදර වුනා නොවැ.“

මිණිබිරිය :- “සීයේ...මං සීයාගෙන් අහන්නමයි උන්නෙ“

සීයා:- “මොකැයි පුතේ..“

මිණිබිරිය :- “ගැටබරු පෙරහැරට අරතරම් මහ සෙනඟක් එන්නෙ ඇයි සීයේ..“

බුලත් කෙල පහර   පඩික්කමට   ගැසූ මහළු මිනිසා උගුරකට   පාදා හරිබරි ගැසෙමින් සැරසුනේ දිගු කතාවකට මුලපිරීමට යැයි පෙනුණි.

සීයා :- “ඒක බොහොම දිග කතාවක් දුවේ...“

“අතීතේ උන්නු ඇත්තෝ කියන හැටියට ඔය ගැටබරු රජ මාළිගේ ඉදිකොරැයි කියන්නෙ වලගම්බා රජ්ජුරුවො..දකුණු  පලාතේ මොරවක්කෝරලේ (වර්තමාන දෙනියායේ ප්‍රදේශය ) සැඟව හිටිය කාලේ..ඒ උත්තමයා රජකම අහිමිවෙලා පලාගොස් හිටපු තැන්වල ගල් විහාරහෙම ඉදිකරලා තියනවා  දුවේ..“

මිණිබිරිය :- “ඉතිං එතකොට සීයේ ගැටබරුවත් එහෙම ඉදිකරපු ගල් විහාරයක්ද?“

සීයා:- “නැතුව නැතුව කෙල්ලේ..,ඒකනේ මං උඹට මේ කියන්න යන්නේ..“

“ඔය ඉදිකොරයි කියන ගල් විහාරේ ටික කලක් යද්දි කැලෑවට සැඟවිලා ගොහින් තියනවා ..සියවස් දෙකක් ගොහින් තමයි ඔය ගල් විහාරේ ආයෙම හොයාන තියෙන්නෙ“

“ඔය හොයගත්තයි කියන කතාව ජනවහරේ  එන්නෙ මෙහෙමයි කෙල්ලේ..“

නැවතත් පඩික්කම අතින්ගෙන එයට කෙල ගැසූ මහළු මිනිසා නැවතුමක් ගෙන, කතාව කීමට සැරසෙයි..

“ඔය ගල් විහාරෙ හොයාගන්න හේතු වුනයි කියන්නේ  කෙල්ලේ..ගෝනෙක්ලු..ඒ කාලෙ මොරවක්කෝරලේ හිටියයි කියන එලියස් හාමි දවසක්දා කැලේට යද්දී..ගෝනෙක් උන්ද පස්සෙ ඇවිත් තියනවා..එලියස් හාමි හැරිලා බලද්දි ඌ ආයේ ඉවතට දුවලා තියනවා..ඒ වෙලාවෙ එලියස් හාමි ඒ ගෝනව ලුහුබැන්දා කියලයි කියන්නෙ දුවේ..ඒ ගෝනා දුවගෙන ගිහින් ගල් ගුහාවකට රිංගලා  තියනවා..එලියස් හාමිත් ඒ පස්සෙන් ගිහින් බලද්දී ගල් ගුහාව ඇතුලේ දහ අට රියන් දිග සැතපෙන බුදු පිළිරුවක් තිබිලා තියනව..උන්දා ඒ වෙලේ සෑහෙන්න පුදුමයට පත්වෙලා තියනව කියලයි කියන්නේ..අන්න එතනදි තමයි දුවේ කැලේට සැගවෙලා ගොහින් තිබ්බයි කියන ගල්විහාරේ ආයෙම හොයාගන්නේ..
   පස්සෙ කාලෙකදි ඒ ගල් විහාරෙ එළිපෙහෙලි කොරලා උපාසක ඇත්තොයි,ගම් වැසියොයි එකතුවෙලා සංඝාවාසයක් ඉදිකොරලා “වීරසිංහ කන්දෙ සුමංගල හිමි“ නමට පූජා කොරලා තියනවා..ටික කාලයක් ගොහින් ගමේ සංඝයා වහන්සේලයි, දායක ඇත්තොයි මේ විහාරෙ ටිකෙන් ටික දියුණු කොරලා අද තියන තත්වෙට ගන්න කටයුතු කොරලා තියනවා..“

මිණිබිරිය :- “එතකොට ඇයි සීයේ ඒ ගල් විහාරෙට ගැටබරුව කියන නම පටබැදිලා තියෙන්නේ“

සීයා :- “මෙහෙමයි කෙල්ලේ...ඉස්සර කාලේ ඇත්තෝ..ඔය ගල්විහාරෙ ළඟ පඬුරු ගැටගහල තියනවා..ආන්න ඒ හින්දයි ගැටබරුව කියන නම බැදිලා තියෙන්නේ දුවේ.“.

ඕන්න ඔයවිදියට තමයි අද වෙනකොටත් දකුණුලක පමනක් නොව මුළුමහත් ලංකාවෙම ප්‍රසිද්ධියක් ලබා ඇති ගැටබරුව රජ මහා විහාරය බිහි වුනේ..රුහුණු රට බටහිර අධිපති වූ රජ්ජුරුබණ්ඩාර දෙවියන්ගේ වාසභූමිය වන ගැටබරුවෙහි දේව අනුහස් බොහෝය.එම නිසාවෙන් ලංකාවේ විවිධ පළාත්වලින් ජනයා තම නොයෙක් අභිප්‍රායන්  ඉටුකර ගැනීමටත් අපල උපද්‍රව දුරුකර ගැනීමටත් දේව ආශීර්වාද ලබා ගැනීමටත් ඓතිහාසික වටිනාකම් බොහෝ ඇති ගැටබරුව රජ මහා විහාරයට පැමිණෙන්නේ

සීයා :- “ඔන්න ඔය කාරණා හින්දයි කෙල්ලේ...අරතරම් මහා සෙනඟක් වසරේ පුරාවට පැවැත්වෙන ගැටබරු මහා පෙරහැර මංගල්‍යයෙ දැක බලා ගන්න නොයෙක් පැතිවලින් එන්නේ...“

එදා, අද පමණක් නොව සදා ජීවමාන, රජ්ජුරුබණ්ඩාර දෙවියන් වැඩ වාසය කරන මොරවක්කෝරලේ ගැටබරුකන්ද රජ මහා විහාරය ගම්වැසියන්ට පමණක් නොව  මුළුමහත් රට වැසියන්ටම මහා ආශිර්වාදයක්...

                                                    නිමි...
















නිමාශා දේවින්දි හීනටිගල 
 HS  /2015/0324
(සම්ප්‍රදායික සන්නිවේදනය)

             

                          

Thursday, July 26, 2018

අහෝ.....


අවි ගත්තෝ 
අවියෙන්ම නසති..
අධෝමැයි,
පෑන ගත්තෝද,
අවියෙන්ම නසති...

පිකට් කලෙමි......


දියව් දියව්...
අපිට දියව්... 
අමාත්‍යාංශය අබියස 
තාර පාරෙ පුක තියාන 
බලධරයින් පොළබවමින්
ඉල්ලීමන් මොරගසමින්
සිංහල ඉංග්‍රිසි දෙමළ 
බෝඩ් ලෑලි අමෝරමින්
කඳුලු ගෑස් නොගැටුනු ඇස 
රබර් උණ්ඩ නැති මුරණ්ඩු 
බැටන් වලට සටන් නොදී 
අඩු තරමින් ජල ප්‍රහාර
අත් නොවිදම පෙළ ගැසෙමින් 
අක්ෂි වාට්ටුව අතරින්
විහාර මහ දේවියගේ 
නමින් රැඳුණු උද්‍යානය 
පෙරදා ප්‍රේමයෙන් වෙලුනු 
සැමරුම් මුලු පඳුරු දුටිමි 
අතීතයේ හා මුසු වූ
සහෘදයන් මුහුණු දුටිමි 
කෙලවර කොනකදී ඉදිරිපත්වු 
විවෘත වූ රඟහලේදි
කථිකයන්ගෙ වහසි බසින් 
ජය අපිටයි අපිට ජයයි 
ලවන් පොවන මියුරු තෙපුල් 
අභිමනයෙන් මුසපත් වී 
පෙරලා රථයට  සපැමිණ 
උපාලි සරි කෙරූ බොජුන්  
වලදන්නට පෙරව පරව
මධුවිතයෙන් මුදුන් පත්ව 
අධිවේගෙන් ගෙදර අවුත් 
පසුදා සේවයට ගියෙමි....

Thursday, July 5, 2018

රජ පෙළපත


   කේට් කුමරියෙ නුඹේ 
   කිරුළ  හිමි කුමරුගේ 
   පැටිකිරිය අමිහිරියි
   චාල්ස් වූ සීයාගේ 
   බිඳක් පමණයි දන්නේ 
   මිත්තණිය ඩයනාව
   ගැසූ කරනම්  නිමයි  
   ඊනියා රජ පවුල 
   නොවේ නුඹේ දරු පවුල 
   පෙරටු කොට ගනු ඉතින් 
   විලියම්ගෙ රාජ ලේ 
   වාරණය කරගනින් 
   නුඹද කුමරියක් නොවන 
   මවක් ලෙස සැනසියන්....

Thursday, June 21, 2018

සොඳුරු වෙරළ (සුනාමි ආවර්ජනයකි)........


සයුර නුඹ කිසි දිනෙක 
චේතනාවෙන් තොරව 
කෙරුනු වරදක් නමින් 
ගැරහුමට ලක් උනිද....

     ගැඹුරු පතුලේ අන්ධ
     දෙදරුමට ගිනි බින්ද 
     සයුරු රළ අනු නන්ද 
     උදම් උන වරදින්ද...

නුඹ පතුල ගිනි දක්වා 
නැගෙන ගිනි කඳු ලවා 
කලෙද වෙසෙසින් මුවා 
එදින නම් බැරි උනා....

     රික්ටාවෙ මාපකය 
     නවය පැන ගිය එකට 
     සඟව ගනු බැරි  දුකට 
     සෙලවුනා නුඹෙ ඇකය...


සයුර වෙරලක රැදුන 
නුඹ දසුන මන බැඳුණු 
මොහොතකට බොඳ කෙරුනු 
සුනාමිය මයි දරුණු.... 

Sunday, June 3, 2018

කේන්දරේ 


සෞරග්‍රහ මන්ඩලයේ
අයාලේ යන ග්‍රහ තරුවනි,
කොයි යන්නේ කැරකෙන්නේ...
කොයිබද, 
කොතැනටද නොදැන 
අප ඉපදෙන විට පිහිටියේ....
ස්ථානය කොටුකරගෙන,
ජන්ම පත්‍රවල වැජබී
ජීවිත තීරණ කලෙහිද.....?
දුබල එවුන් ළඟ උච්චයි,
ප්‍රභල එවුන් ළඟ නීචයි...
ග්‍රහයා කොතැන පිහිටියේද
නොවේය වැදගත් වන්නේ 
අප හරියට පිහිටියාද
එතනයි තීරණ වන්නේ.... 

Saturday, June 2, 2018

අනතුරක.....

කැකුලු මල අනතුරකි,
එපා හකුලා ඉන්න,
සුවඳ පිටතට නොදි,
සැගවිලා මෝරන්න...
මලින් මල තලා එන
බඔර මී මැසි රැහැන්,
කිලිටි පා තුඩු ගොන්න,
සිනිදු පෙති පොඩි කරයි..
ළපටි රොන් පුද දෙන්න,
යදින සිත සතපන්න,
ගුම් නදට නොරැවටී,
කෙමෙන් විකසිත වන්න...
සමනලුද රැහැන්මයි,
අපහසුයි හදුනන්න,
බුද්ධියේ සුළං වැද
මුකුලිතව හිනැහෙන්න.....

                   සත්‍ය විය යුත්තේ......    අප රටේ ජීවත්වන සියල්ලෙක්ම පාහේ කුමන හෝ ආගමක් අදහනු ලබයි.ආගමක් අදහනවාට වඩා එය තමාම අවබෝධ කරග...